Archive for May 2011

මැරෙන්න කලින් ජීවත් වෙන්න,

ස්ටීව් ජොබ්ස් නම ඔබ අසා තිබෙන්නට හෝ නොතිබෙන්නට පුලුවන්. නමුත් ඇපල් සමාගම ගැන නම් නියත වශයෙන් අසා ඇති. ස්ටීව් පෝල් ජොබ්ස් තමන්ගෙ හොඳම මිත්‍රයෙක් වුනු ස්ටීව් වොස්නියැක් සමඟ එකතු වෙලා තමන් වැඩියෙන් ආස කරන පලතුරේ නමින්, ඇපල් සමාගම ආරම්භ කලා. පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරය ආරම්භ කලා. ඒ සියල්ලටත් වඩා ඔහු ඉතා අපූර්ව මනුස්සයෙක්. ඒ දේවල් ගැන ඔහුගේ වචනයෙන් ම දැනගන්න ඔබට පුළුවන්. මේ තියෙන්නෙ ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ 2005 අවුරුද්දේ උපාධි ප්‍රධානෝත්සවයේ ආරාධිතයෙක් වශයෙන් පැමිණ කල කථාවේ සිංහල පරිවර්තනයක්.


ඔබ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයකින් උපාධිය හිමිකරගන්නා වේලාවේ ඔබත් සමඟ රැදෙන්නට ලැබීම මා ලැබුනු විශාල ගෞරවයක් විදියට සලකනවා. ඇත්තම කියනවනම් මේ තමයි ජීවිත කාලයටම මම විද්‍යාලයක උපාධි  ප්‍රදානෝත්සවයක ආසන්නයට වත් පැමිණි අවස්ථාව. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නෙ මගේ ජීවිතයෙන් ගත්තු කතන්දර තුනක්. ඔව්, පුංචි කතන්දර තුනක් විතරයි.

පලවෙනි කතාව තිත් යා කිරීම ගැනයි.

රීඩ් විද්‍යාලයට ඇතුළු වෙලා මාස 6න් ම මම උපාධිය වෙනුවෙන් ඉගෙනීමෙන් ඈත් වුනා. තවත් මාස 18ක් විතර ඉඳල තමයි මම ඒ විද්‍යාලයෙන් අයින් වෙන්නෙ. ඇයි මම ඉගෙනීම අත්හැරියෙ?

ඒක පටන් ගන්නෙ මම ඉපදෙන්නත් කලින්. මාව වදන විට මගේ අම්මා අවිවාහක, තරුණ, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඒ හින්දම ඇය තීරණය කලා මාව හදාගන්න දෙන්න. ඇයට තදින්ම වුවමනා වුනා මාව උපාධිධාරී යුවලකටම භාර දෙන්න. ඉතින් මාව නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට භාර කරන්න සියලු කටයුතු සූදානම් කෙරුණා. ඒත් අන්තිම මොහොතෙදි ඒ යුවල තීරණය කලා ඔවුන්ට අවශ්‍ය ගැහැණු ලමයෙක් කියල. මට වෙනත් මව්පියන් යුවලක් වෙනුවෙන් බලන් ඉන්න වුනා. දරුවන් හදා ගන්නට ගැනීමේ පොරොත්තු ලැයිස්තුවේ හිටපු ඇත්තමට මගේ දෙමව්පියන් වුනු යුවලට රෑ මැද දුරකථන ඇමතුමක් ලැබුනා. “අපි බලාපොරොත්තු නොවුනු පිරිමි ලමයෙක් ලැබිල තියෙනවා. ඔයාල කැමැතිද එයාව ගන්න?“, “ඇත්තටම අපි කැමැතියි“ ඔවුන් උත්තර දුන්නා. නමුත් මගේ වැදූ අම්මා හොයාගෙන තියෙනවා මාව දරුකමට ගන්න හදන යුවලගෙන් එක් අයෙක් වත් උපාධියක් අරගෙන නෑ කියල. ඉතින් ඇය දරුකම පැවැරීමේ ලිපි ලේඛණ වල අත්සන් කරන්න බෑ කියල තියෙනව. මාස කීපයකට පස්සෙ මගේ දෙමව්පියන් මාව කවදා හෝ විද්‍යාලයකට යවන බවට පොරොන්දු වුනාටත් පස්සෙ තමයි ඇය අත්සන් කරන්න කැමැති වෙලා තියෙන්නෙ.

ඒ පොරොන්දුවෙ විදියටම අවුරුදු 17කට පස්සෙ මම විද්‍යාලෙකට ඇතුළු වුනා. මම නිකම්ම තෝරගත්තෙ මේ ස්ටැන්ෆෝර්ඩ් විද්‍යාලය වගේම වියදම් අධික විද්‍යාලයක්. වැඩ කරන පන්තියෙ අය වුනු මගේ දෙමව්පියන්ගේ සියලු ඉතිරි කිරීම් විද්‍යාල ගාස්තු වලට වැය වුනා. විද්‍යාලයට ඇතුලු වෙලා මාස හයක් ගතවෙන කොට මේ කරන දේ කිසිම වටිනා කමක් නෑ කියල මට හිතෙන්න ගත්තා. මම ඉස්සරහට වෙන්න ඕන කවුරුද කියල වත් මේ විද්‍යාලය ඒ වෙනුවෙන් මට උදව් වෙන හැටියක් ගැන වත් මට හිතාගන්න බැරි වුනා. ඒ වගේම මගේ දෙමව්පියන් ජීවිත කාලේම එකතු කරල ඉතිරි කරන් හිටපු මුදල් මම මේ විද්‍යාලය නිසා වියදම් කරමින් හිටියෙ.  ඉතින් හැමදේම හොඳින් සිද්ධ වෙයි කියන විශ්වාසෙන් මම උපාධියට ඉගෙනීම නවත්තන්න තීරණය කලා. ඒක ඇත්තටම හරිම භයානක තීරණයක්. අද මම ආයෙම හැරිල බලද්දි පේනවා ඒක මම ගත්තු හොඳම තීරණ වලින් එකක් කියල. ඒ තීරණයත් එක්ක මට මෙච්චර කල් සහභාගි වෙන්න සිද්ධ වෙලා තිබුනු මම අකැමැති මට නීරස විශයන්ගෙ පන්ති වලට නොයා ඉන්න පුළුවන් වුනා. ඒ වගේම මට කැමැත්තක් ඇතිවුනු විශයන්ගෙ පන්ති වලට සහභාගි වෙන්න ඉඩ කඩ හැදුනා.

ඒක සම්පූර්ණයෙන් ආදරණීය විචිත්‍රවත් දෙයක් වුනේ නෑ. මට විද්‍යාලයේ ලැඟුම් ගන්න කාමරයක් තිබුනෙ නෑ. මම යාළුවන්ගෙ කාමර වල බිම නිදාගත්තා. හිස් කෝක් බෝතල් එකතුකරල වෙලඳසලට ගිහින් දීලා ඒ බෝතල් ගනිද්දි තබන සත 5ක තැන්පතු මුදල අරගෙන ඒකෙන් කෑම ගත්තා. හැම ඉරිදාම හවසට හැතැප්ම 7ක දුර පයින් යන්නේ හරේ ක්‍රිෂ්ණා දේවාලයෙන් බෙදල දෙන, සතියට මට ලැබෙන හොඳම කෑම වේල අරගන්න. මම ඒ ගමන ගොඩක් කැමැත්තෙනුයි ගියේ. මං ගාව තිබුනු කුතුහලය මාව අරගෙන ගිය තැන් වල වටිනාකම දැන් නම් කියල නිම කරන්න බැරි තරම්. ඔයාලට එක උදාහරණයක් දෙන්න මට ඉඩදෙන්න.

රීඩ් විද්‍යාලය තමයි සමහරවිට ඒ කාලේ රටේ තිබුනු හොදම විදියට, විචිත්‍ර අක්ෂර කලාව ඉගැන්නුවෙ. විද්‍යාලය ඇතුලෙ තිබුනු හැම දැන්වීමක්ම, ලාච්චු වල අලවල තිබුනු හැම ලේබලයක්ම බොහොම ලස්සනට අතින්ම ලියපු ඒවා. පාඨමාලාවෙන් අයින් වෙලා හිටපු නිසා සාමාන්‍ය පන්ති වලට සහභාගි වෙන්න මට නියමයක් තිබුනෙ නෑ. ඉතින් මම විචිත්‍ර අක්ෂර කලාව උගන්වන පන්තියට සහභාගී වුනා ඒක මට ඉගෙන ගන්න ඕන වුනු නිසා. මම සෙරිෆ් සහ සැන් සෙරිෆ් අකුරු වර්ග ගැන, විවිධ අකුරු අතර තබන හිස් ඉඩ ප්‍රමාණ වල විවිධත්වය ගැන, විවිධ මුද්‍රණ ක්‍රම වලට බොහෝම ලස්සනට අකුරු යොදාගන්න හැටි ගැන වගේ ගොඩාක් ‍දෙවල් ඉගෙන ගත්තා. ඒක බොහෝම ලස්සන,ඓතිහාසික ඒ වගේම විද්‍යාවට හසු නොවන සියුම් කලාවක් වුනා. මම ඒකට බෙහෝම ආශා කලා.

හැබැයි මේ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙයි කියල මම කොහොමටවත් හිතුවෙ නෑ. අවුරුදු 10කට පස්සෙ අපි පලවෙනි මැකින්ටොෂ් පරිගණකය නිර්මාණය කරද්දි මම එදා ඉගෙන ගත්ත දේ ආයෙම මගේ උදව්වට ආවා. අපි මැකින්ටොෂ් පුරාවටම ඒ කලාව යොදා ගත්තා. ඒක තමයි ලෝකයේ ලස්සන අකුරු යොදාගත්ත පලවෙනි පරිගණකය! මම එදා ඒ පන්තියට ගියේ නැතිනම් විවිධ විලාසයේ, අකුරු පරතර හොඳින් ගැලැපූ අකුරු රටා මැකින්ටොෂ් සතු නොවෙන්න ඉඩ තිබුනා. ඒ වගේම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලෙත් මැකින්ටොෂ් අනුකරණය කිරීම නිසා බොහෝ විට කිසිම පුද්ගලික පරිගණකයක එවන් ලස්සන අකුරු නොතිබෙන්නට ඉඩ තිබුනා. මම උපාධිය අතඇරියෙ නැතිනම් මම කවදාවත්ම විචිත්‍ර අකුරු ඉගෙන ගන්න යන එකක් නෑ. ඒ වගේම අද වගේ පුද්ගලික පරිගණක වල විචිත්‍ර අකුරු බලා ගන්න වෙන එකකුත් නෑ. ඇත්තටම මම එදා විද්‍යාලයේ ඉඳිද්දි මේ ලක්ෂ්‍ය ටික යා වෙන විදියක් හිතා ගන්න වත් බෑ. හැබැයි අද ආපසු හැරිල බැලුවාම හරිම පැහැදිලිව පේනවා මේ ලක්ෂ්‍ය නැත්නම් තිත් ටික යා වෙන හැටි.

මම ආපසු කියන්නම්, ඔයාලට අනාගතය දිහා බලාගෙන මේ තිත් යා කරන්න බෑ, යා කරන්න පුලුවන් වෙන්නේ අතීතය දිහා බලාගෙන විතරයි. ඔයාල විශ්වාස කරන්න ඕන මේ තිත් මොන විදියකින් හරි අනාගතයටත් යා වන බව. ආත්මශක්තිය, දෛවය, ජීවිතය, කර්මය හරි වෙන ඕනම දෙයක් ගැන හරි විශ්වාසය තියා ගන්න. ඒ ක්‍රමය මාව කවදාවත් වැට්ටුවෙ නෑ, මගේ ජීවිතය මෙතරම් වෙනස් කලේ එයයි.

මගේ දෙවන කතාව ආදරය කිරීම සහ එය නැතිවීම ගැනයි.

මම වාසනාවන්තයි, මම කලින්ම කරන්න කැමති දේ සොයාගත්තා. මට අවුරුදු 20දි තමයි මම වොස් එක්ක එකතුවෙලා මගේ දෙමව්පියන්ගෙ ගරාජය ඇතුලෙ ඇපල් සමාගම පටන් ගත්තෙ. අපි බොහොම මහන්සි වෙලා වැඩ කලා. අවුරුදු 10 කින් මුලදි අපි දෙන්නා විතරක් හිටපු ඇපල් සමාගම සේවකයන් 4000ක් සිටින ඩොලර් බිලියන 2ක් වටින සමාගමක් බවට පත් වෙලා. අපේ හොඳම නිර්මාණය, ඇපල් මැකින්ටොෂ් එළිදක්වලා අවුරුද්දක් වත් වුනේ නෑ, මට අවුරුදු 30 ලබනකොට. මාව සමාගමෙන් අස් කලා. කොහොමද ඔබ ආරම්භ කල සමාගමකින් ඔබව අස් කරන්නේ? ඔව්, ඇපල් සමාගම ලොකු සමාගමක් බවට පත්වෙද්දි මාත් එක්ක මේ සමාගම පාලනය කරන්න බොහෝම දක්ෂයෙක් කියල මට හිතුනු පුද්ගලයෙක් බඳවා ගත්තා. අවුරුද්දකටත් වඩා බොහොම හොදින් කටයුතු සිද්ධ වුනා. පස්සෙ අපේ සමාගමේ අනාගත සැලසුම් ගැන අපි දෙන්නගේ මතයන් වෙනස් නිසා මත භේදයන් ඇතිවුනා. ඒ වෙලාවේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඔහුගේ පැත්ත ගත්තා. වයස අවුරුදු 30දී මාව අස් කලා. ඒක බොහෝම ලොකු ප්‍රවෘත්තියක් වුනා. මගේ ජීවිතයේ එතුවක් කල් තිබුණු අරමුණ විනාශ වුනා. ඒක මට ලොකු ව්‍යසනයක් වුනා.

මාස කීපයක් යන තුරුම මට කරන්න දෙයක් හිතා ගන්න බැරි වුනා. මගේ පෙර තිබුනු ව්‍යවසායකත්ව හැකියාව නැතිවුනු බවක් මට හැඟුනා. හරියට ධාවන තරඟයකදී ය්‍යෂ්ටිය මට දෙන වෙලාවෙදි මගේ අතින් ය්‍යෂ්ටිය ගිලිහුනා වගෙයි මට දැනුනෙ. මම ඩේවිඩ් පැකාර්ඩ්ව සහ බොබ් නොයිස්ව හමු වෙලා මගේ අවුල් සහගත හැසිරීම ගැන සමාව ඉල්ලන්න උත්සහ කලා. මම ජනතාව අතර පරාජිතයෙක් වුනා. මම ජීවත් වෙලා හිටපු නිම්නයෙන් පැනල යන්න තරම් මට හිතුනා. නමුත් සෙමින් සෙමින් මං තුල යමක් නැවත මතුවන්නට ගත්තා. ඒ මම කල දේ වෙනුවෙන් තිබුනු ආදරය. ඇපල් සමාගම තුල සිදු වුනු සිදුවීම් සමුදාය, මගේ ආදරය යම්තමින් හරි අඩු කරන්න සමත් වෙලා නෑ. මාව ප්‍රතික්ෂේප වුනා, හැබැයි මම දිගටම ආදරය කලා මම කල දෙයට. මම තීරණය කලා මුල ඉදන් පටන් ගන්න.


ඒ කාලෙදි මම ඒක දැක්කෙ නෑ, ඇත්තටම ඇපල් සමාගමෙන් ඉවතට වැටීම තමයි මට සිද්දවෙන්න පුළුවන් හොදම දෙය වුනේ. සාර්ථක මිනිසෙක් වීමෙන් දරන්නට සිදුව තිබූ බර වෙනුවට ආධුනිකයෙක් සතු වගකීමෙන් තොර සැහැල්ලුව මට දැනෙන්න වුනා. මගේ ජීවිතයේ බොහෝම නිර්මාණාත්මක කාල පරිච්ඡේදයකට මේ සිදුවීම මාව ගෙන ගියා.


මීලඟ අවුරුදු 5 ඇතුලෙදි මම නෙක්ස්ට් නම් සමාගම ආරම්භ කලා, පික්සාර් නමින් තවත් සමාගමක් ආරම්භ කලා, ඒ වගේම මම බිරිඳ කරගත් ඒ පුදුමාකාර තරුණිය මට හමුවුනා. පික්සාර් සමාගම ලෝකයේ ප්‍රථම පරිගණක සජීවීකරණ චිත්‍රපටිය වන ‘ටෝයි ස්ටෝරි‘ වල වැඩ ඇරඹුවා. අද වෙනකොට ලෝකයේ සාර්ථකම සජීවීකරණ චිත්‍රාගාරය තමයි පික්සාර්. පුදුමාකාර විදියට සිදුවීම් වෙනස් වෙද්දි ඇපල් සමාගම විසින් නෙක්ස්ට් සමාගම මිලදී ගත්තා. මම ආපසු ඇපල් සමාගමට එකතු වුනා. අපි නෙක්ස්ට් තුල දියුණු කරපු තාක්ෂණය තමයි දැන් ඇපල් සමාගමේ ඇතිවෙලා තියෙන පුනරුදයේ හදවත වෙලා තියෙන්නේ. ඒ වගේම අද ලොරේනුත් මමත් බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.


මට හොඳටම විශ්වාසයි ඇපල් සමාගමෙන් මාව අස් කලේ නැත්නම් මේ කිසි දෙයක් මේ විදියට සිද්ධ නොවෙන බව. ඒක හරියට හරිම තිත්ත බෙහෙතක් වගෙයි, නමුත් මම හිතනවා රෝගීයාට ඒ බෙහෙත අවශ්‍යමයි කියල. සමහර වෙලාවට ජීවිතය ඔබේ ඔලුවට ගඩොලකින් පහර දෙනවා. ඒ වෙලාවෙදි ඔයාගේ විශ්වාසය නැති කරගන්න එපා. මම කරපු දේට ආදරය කිරීම තමයි මාව ඉදිරියට ගෙනිච්චෙ කියල මම තේරුම් අරන් තියෙනවා. ඔයාල ආදරය කරන්නෙ මොනවටද කියල ඔයාල හොයාගන්න ඕන. මතක තියාගන්න ඔයාලගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය සම්බන්දයෙන් වගේම ඔයාල කරන වැඩ සම්බන්දයෙනුත් ඒක ඇත්තක්. ඔයා කරන වැඩ ඔයාගෙ ජීවිතයෙන් බොහෝම ලොකු කොටසක් අයිති කර ගන්නවා. එතනදි ඔයාට සන්තෝස වෙන්න පුලුවන් එකම විදිය තමයි ඔයා බොහෝම වැදගත් කියල සලකන වැඩක් තෝරාගැනීම. ඒ වැදගත් දේ කරන්න පුලුවන් වෙන්නෙ ඔයා ඒ වැඩේට ආදරය කලොත් විතරමයි. තවමත් ඔයාට ඒ වැඩේ සොයාගන්න බැරි වුනානම්, නවතින්න එපා, දිගටම සොයන්න. හදවතත් එක්ක සිද්ධ වෙන අනික් ගනුදෙනු වගේම තමන් ආදරය කරන ඒ වැඩය හදවත හඳුනාගනීවි. බොහෝම හොඳ සබඳකමකදි වගේම මෙයත් කාලය ගතවන්නම වන්නට තවත් තව තවත් හොඳ වෙනවා. ඒ නිසා එය සම්බවනතුරුම සොයන්න. කොහොමවත් නවත්වන්න එපා.


මගේ තුන් වන කතාව මරණය ගැනයි.


මට අවුරුදු 17දී  වැකියක් කියෙව්වා මම මේ වගේ අදහසක් තියෙන, “ඔබ සෑම දිනක්ම ඔබේ අවසාන දිනය ලෙස සිතනවනම්, යම් දවසක එය අනිවාර්යයෙන්ම ඇත්තක් වේවි“. ඒක මං තුල හැඟීමක් ඇති කලා. එදා පටන් පසුගිය අවුරුදු 33 පුරාවටම මම හැම උදයකම කණ්නාඩිය දිහා බලලා මගෙන්ම අහනවා, “ මේ මම ජීවත් වෙන අන්තිම දවස නම් මම අද කරන්නට සිතා සිටින දෙයම මම කරාවිද?“, මේකට මං සතු උත්තරය එක දිගට දින ගණනාවක්ම “නෑ“ වුනානම් මම දන්නවා මොනව හරි වෙනස් කරන්න වුවමනා බව.


මම බොහොම ඉක්මනින් මැරෙන බව මතක තියා ගත්ත එක තමයි බොහොම ලොකු තීරණ ගනිද්දි මට උදව් කල හොඳම දේ වුනේ. මරණයේ මුහුණ ඉදිරියෙදි තමන්ගෙ තත්වය, බාහිර බලාපොරොත්තු, බැණුම් අහන්න පරදින්න තියෙන බය වගේ තවත් ගොඩාක් දේවල් නැතිවෙලා යනවා. මරණය ඉදිරියෙ අපි ගාව ඉතිරි වෙන්නෙ ඇත්තටම වැදගත් දේ විතරයි. ඔයා ගාව නැතිවෙන්න දෙයක් තියෙනවා කියල හිතෙන උගුලෙන් ගැලවෙන්න තියෙන හොඳම විදිය තමයි ඔයා මැරෙන බව හිතේ තියා ගැනීම. ඔයා දැනටමත් ඉන්නෙ නිරුවතින්. ඉතින් ඔයාගෙ හදවත කියන දේ නොකරන්න ඔයාට කිසිම හේතුවක් නෑ.


දැනට අවුරුද්දකට කලින් මට පිළිකාවක් තියෙන බව විනිශ්චය කලා. උදේ 7.30ට කරපු පරිලෝකනයෙන් මගේ අග්න්‍යාශයේ තියෙන පිළිකාව බොහොම පැහැදිලිව පෙන්නුවා. අග්න්‍යාශය කියන්නෙ මොකක්ද කියල වත් මම දැනන් හිටියෙ නෑ. ඒක බොහෝ දුරට සුව කරන්න බැරි විදියෙ පිළිකාවක් බවත් තව මාස තුනත් හයත් අතර කාලයකට වඩා ජීවිතය ගැන බලාපොරොත්තු තියන්න බැරි බවත් වෛද්‍යවරු මට කිව්වා. ගෙදර ගිහින් කටයුතු එකලාසයක් කරගන්න කියලා ඔවුන් මට කිව්වා. වෛද්‍යවරුන් වෙන විදියකින් මට ඒ කීවෙ මැරෙන්න සූදානම් වෙන්න කියලා බව මම දන්නවා. තවත් කියනවනම් ඒ කිව්වෙ ඊළඟ අවුරුදු 10පුරා ඔබ ඔබේ දරුවන්ට කීමට සිතා සිටින දේවල් මේ මාස කීපය තුලදී කීමට උත්සහ කරන්න කියලයි.  ඒ කියන්නෙ ඔබේ පවුලට සහනයක් දැනෙන පරිදි සියල්ල සකස් කරන කියලයි. අවසන් සුභ පැතුම් ඔවුනට එක් කරන්න කියලයි.


මම මුළු දවසම ජීවත් වුනේ ඒ රෝග විනිශ්චය එක්කයි. එදා හවස මාව පටක විශ්ලේශණ පරීක්ෂණයකට භාජනය කලා. පරීක්ෂා උපකරණයක් මගේ උගුරෙන් ඇතුල් කරලා මගේ බඩ ඇතුලෙන් බඩවැල් තුලටත් යැවුවා. මගේ අග්න්‍යාෂයට සියුම් ඉඳිකටු තුඩක් යවලා පිළිකා සෛල කීපයක් ඔවුන් අරගත්තා. ඔවුන් ඒවා පරීක්ෂා කරන වෙලාවෙදීත් මම සිහිසුන්වයි හිටියේ, එතැන හිටපු මගේ බිරිඳ තමයි කීවේ ඒ සෛල අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන කොට ඒ වෛද්‍යවරු අඩන්න ගත්ත කියල. ඒ මගේ පිළිකාව බොහෝම දුර්ලබ ගණයේ අග්න්‍යාෂයික පිළිකාවක් වුනු හින්දත් ඒ පිළිකාව සැත්කමකින් සුව කරන්න පුළුවන් කියලා ඔවුන් දැනගෙන හිටපු හින්දයි. ඒ වෛද්‍යවරු මාව සැත්කමට භාජනය කරපු හින්ද අද මම සුවෙන් ඉන්නවා.


ඒ තමයි මේ වන තුරු මම මරණයට වඩාත්ම කිට්ටු වුණු අවස්ථාව. මම විශ්වාස කරනව තව දසවර්ශ කීපයකට ඒක එහෙම්මම තියේවි කියලා. ඒ අත්දැකීමට මුහුණ දුන් හින්දම මරණය ගැන අදහසක් විතරක් තියාගෙන කථා කරනවාට වඩා වැඩි විශ්වාසෙකින් මට මේ දේ ඔයාලට කියන්න පුළුවන්.


කවුරුත් කැමැති නෑ මැරෙන්න. ස්වර්ගයට යන්න ලොකු කැමැත්තකින් ඉන්න අය වුනත් ස්වර්ගයට යන්න මැරෙන්න කැමැති නෑ. ඒ කොහොම වුනත් අපි හැමෝටම පොදු ගමනාන්තය තමයි මරණය. කවුරුවත්ම ඒකෙන් ගැලවිලා නෑ. ඒක එහෙමම විය යුතුයි. මොකද මරණය තමයි ජීවිතය ඇතුලෙ තියෙන හොඳම නිර්මාණය. ඒක තමයි ජීවිත වෙනස් කරන කාරකය. මරණය පරණ දේ ඉවත් කරල අලුත් දේ වෙනුවෙන් ඉඩ හදල දෙනව. මේ වෙලාවෙදි ඔය අය තමයි අළුත්, හැබැයි බොහොම ටික කාලෙකින් එන යම් දවසක ඔයාල පරණ අය විදියට ඉවත් කරාවි. නාට්‍යමය විදියට මේ දේවල් කීවට සමාවෙන්න, හැබැයි ඒක ඇත්ත.


ඔයාලගේ කාලය සීමිතයි. ඒක නිසා වෙන අයගෙ ජීවිත ගතකරන්න ඒ වෙලාව නාස්ති කරන්න එපා. වෙන අයගෙ සිතුවිලි මත ඔයාලා ජීවත් වෙන්න හදන්න එපා. අනිත් අයගේ මත වල ගෝෂාවට ඔයාගේ ඇතුලෙන් එන කටහඬ යටපත් කරන්න දෙන්න එපා. ඒ වගේම වැදගත්ම දේ තමයි, ඔයාලගෙ හදවත් සහ සහජඥාණය පවසන දේ ඔස්සේ ගමන් කරන්න ධෛර්යය තියා ගන්න. ඔයාලට ඇත්තටම වුවමනා මොකක්ද කියල ඒ අය යම් විදියකින් දන්නවා. අනිත් හැම දේම දෙවනුව තියාගන්න.


මම තරුණ කාලෙ විශ්මයජනක පොතක් තිබුනා “මුළු පෘථුවියේම නාමාවලිය“ නමින්. ඒක මගේ කාලයේ බයිබලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒක ලියල තිබුනෙ මෙතනට බොහොම කිට්ටුවෙන් පිහිටලා තියෙන මෙන්ලෝ උයනේ වාසය කරපු ස්ටීවර්ට් බ්රෑන්ඩ් කියන පුද්ගලයා. එයාගෙ කාව්‍යමය හැකියාවෙන් පොතට ජීවය එක් කරලා තිබුනා. ඒ 1960 දශකය අග භාගයේදී, පුද්ගලික පරිගණක, පරිගණක නිර්මාණකරණය එන්න කලින්. ඒ පොත හදන්න යතුරු ලියනයන්, කතුරු සහ පොලාරොයිඩ් කැමරා තමයි පාවිච්චි කරල තිබුනෙ. ඒ පොත හරියට ඇත්ත ගූගල් එලිදකින්න අවුරුදු 35කට කලින් කඩදාසි මත මුද්‍රණය කරපු ගූගලයක් වගේ. ඒක බොහොම පරමාදර්ශී, පැහැදිලි සංකේත සහ භාවිතය පහසු කරන උපක්‍රම රාශියකින් යුක්ත වුනු පොතක්.


ස්ටීවර්ට් සහ ඔහුගේ කණ්ඩායම මේ පොතේ කාණ්ඩ කීපයක්ම නිකුත් කරල තියෙනවා. ඒ පොතේ කාර්යභාරය අවසානයේදී ඔවුන් අවසන් කාණ්ඩය එලිදැක්වූවා. එතකොට 1970 දශකය මැද භාගයේ වගේ, මම ඔයාලගෙ වයසෙ විතර, ඒ පොතේ පිටිපස්සෙ කවරයෙ තිබුනෙ අභියෝග වලට කැමැති අය පාර හොයාගෙන යන්න බොහොම කැමැති වන විදියෙ ග්‍රාමීය පාරක පින්තූරයක්. ඒකට පහලින් තිබුනා මෙහෙම,“පිපාසාවෙන් සිටින්න, මොඩයෙකු සේ සිටින්න“. ඒක තමයි එයාලගේ සමුගැනීමේ පණිවුඩය වුනේ. පිපාසාවෙන් සිටින්න, මොඩයෙකු සේ සිටින්න. මම ඒ දේ හැමවිටම අනුගමනය කලා. ඉතින් අද උපාධිය අරන් ජීවිතය අළුතින්ම පටන් ගන්න ඔයාලටත් මම ප්‍රාර්ථනා කරන්නේ,


පිපාසාවෙන් සිටින්න, මෝඩයෙකු සේ සිටින්න කියලයි.


ඔයාලා හැමොටම බොහෝම ස්තූතියි.


අත්හැරපු සටන් ආයෙම පටන් ගන්න, තමන් තුල හැංගිලා තියෙන අදහස් එලියට ගන්න, ජීවිතය ගැන ආයෙමත් හිතන්න දැන් ඔබට හිතෙන බව නම් නිසැකයි. ඒ ගැන හිතන්න ඔබට ඉඩ දීලා ආයෙමත් ස්ටීව් ජොබ්ස් ගැන වචනයක් ලියන්නම්. ඇපල් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වන 56 වියැති ස්ටීව් පෝල් ජොබ්ස්, අදටත් ඔහුට සුපුරුදු කළු ටී ෂර්ට් එකත් ඩෙනිම් කලිසමත් ඇදගෙන ඇපල් සමාගමේ වැඩ කරන්න පැමිනෙන්නේ වසරකට ඩොලර් එකක පඩියටයි!

                                                          පින්තූරය gomu.dnsdot.net  ෙවතිනි.
Saturday 14 May 2011
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -