Archive for 2013

මගේ හීනයක් තියෙනව....

I have a dream... කියල පටන් ගන්නකොට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ මාටින් ලූතර් කිං ගේ සුප්‍රසිද්ධ කථාව. එතුමා ඒ කථාවෙන් ඇමරිකාව තුල ඉතා දරුණුවට පැතිරිලා තිබුනු වර්ග වාදය නැතිකරන ගමනෙ ලොකු පියවරක් තැබුවා. එතුමන්ට තිබුනු හීනය කලු සුදු කියල බැඳල තිබුනු ඒ අසාධාරණ බැම්ම බිද දාන එක. එතුමගෙ හීනය අදවන විට සැබෑවක් වෙලා තියෙන බවට තියෙන හොදම සාක්ෂිය අද ඇමරිකානු ජනාධිපති වරයාත් කළු ජාතිකයෙක් වෙලා ඉන්න එක.

ඒත් මේ කතාව එතුමගෙ හීනය ගැන නෙමෙයි. හැබැයි ඒ වගේම අසමානතාවයකට, පුංචි අඩුවකට, අපේම මතිමතාන්තර හින්ද, අපි අතින්ම අසාධාරණව ගැටගහල තියෙන බැමි වලලු කඩාගෙන යන්න දැකපු හීනයක්. අපි හැමෝම ගාව තියෙන එක එක විදියෙ හීන ගැන ඒ වගෙම අනික් අය දකින හීන ගැන අපි හිතන හැටි ගැන අලුතින් හිතන්න පොලඹවන හීනයක්. මේ හීනය පටන්ගන්න තැන දකින්න අපි යමු දශක පහක් ආපස්සට.

ඒ 1961 අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිද. ස්කොට්ලන්තයෙ බ්ලැක්බම් කියන පුංචි ගම්මානයේ පුංචි ගෑණු ලමයෙක් ඉපදුනා. ඇයගෙ පියා දෙවන ලෝක යුද්ධයේ සටන් කර විශ්‍රාම ගිය සොල්දාදුවෙක්. ඒ වන කොට පතල් හාරන්නෙක් විදියට වැඩකලා. ඇයගෙ මව යතුරුලියනය කරන්නියක්. ඇය ඉපදෙන කොටත් ඇගේ පවුලෙ පිරිමි ලමයි හතරදෙනෙකුත් ගැහැණුලමයි පස් දෙනෙකුත් හිටියා. ඇය මවුකුසින් එලියට එනකොට සිදුව තිබුනු ඔක්සිජන් උෘණතාවයක් නිසා මොලයට අර්ධ වශයෙන් හානි සිදුව තිබුනා. එය පසුකාලීනව ඇයට ඉගෙන ගැනීම අපහසු කාර්යයක් වීමට හේතු වුනා.

ඒ හේතු හින්ද මේ පුංචි ගෑණු ලමයා සමච්චලයට ලක්වුනා. ඉස්කෝලෙ ලමයි ඇයට නම් පටබැන්දා. ඇය ඉස්කෝලෙන් ඉවත් වෙනකොටත් එතරම් ඉගෙනුමක් ලබල තිබ්බෙ නෑ. ඊට පස්සෙ ඇය විද්‍යාලයක ආපනශාලාවක පුහුණු කෝකිවරියක් විදියට සේවය කරන්න ගියා. රැකියාවක් කිරීම ඇයට අපහසු කාරණයක් වුණා. මාස හයක් සේවය කලාට පස්සෙ ජීවිතයෙ කරපු පළමු වගේම එකම රැකියාවට ඇය සමු දෙන්න තීරණය කලා. කාරණා මේ විදියට වෙන කොට විවාහයක් කරගෙන සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකිරීම ඇයට හීනයක් විතරක් වුනා. හැබැයි ඇයගේ හීනය වුනේ විවාහයක් කර ගැනීම නොවේ.

ඇය ගීත ගායනයට ආසා කලා. සංගීත ආභාශය ඇයට පවුල් පසුබිම තුලින්ම හිමිවුනා. ඇගේ මව පියා දෙදෙනාම ගීත ගායනය කලා. මව පියානෝ වාදනයටද හැකියාවක් දැක්වූවා. පසුව ගායනය ඉගෙනගැනීමට ඇය සංගීත ගුරුවරයෙකු ගාවට ගියා. ඒ වගෙම පල්ලියෙ ගීතිකා ගායනයට ඇය සහභාගී වුනා. ඒ ගමනෙන් ඇය විශාල පන්නරයක් ලැබුව. තවදුරටත් ඇය අවට තිබුනු සමාජ ශාලා වල ගීත ගායනා කරන්නට ගියා. My Kind of People කියන තරඟාවලියට ඇය කීපවතාවක්ම සහභාගි වුනා. ඇයගේ මානසික තත්වයත් එක්කම ඇය සබකෝලයෙන් හිටිය, ඒ වගේම ඇගේ පෙනුමත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් වුනා. ඒවායේදී සිදුවුනු එකම දේ ජූරිය විසින් ඇයව විහිලුවකට ගැනීම පමණයි.

ඇය දිනෙන් දින වයසට ගියා. නමුත් ඇයගේ හීනය දීප්තියෙන් අඩු වුනේ නෑ. ඇය ඇතැම් විට ජනප්‍රිය ගායක ගායිකාවන් ගෙ ගීත අහන්න සංගීත සංදර්ශන වලට ගියා. මෙවන් සංගීතයක් අතරෙදි තමයි ඇයගේ ජීවිතය වෙනස් කරන ගීතය ඇයට ඇසෙන්නෙ. ඇය එම ගීතයට දැඩි සේ ඇලුම් කලා. මේ අතරවාරයෙදි ඇයට ලොකු හයියක් වුනු ඇගේ පියා මිය යනවා. ඒ 1997 අවුරුද්දෙදි. ඒ වෙද්දි ඇගේ මව හිටියෙත් රෝගාතුරව. පවුලෙ බාලයා විදියටත් පවුල් බරක් නොතිබුනු එකම සාමාජිකය විදියටත් තමන්ගෙ හීන පැත්තකින් තියල අම්මව රැක බලා ගන්න ඇය ඉදිරිපත් වුනා. අම්මා නිතරම ඇයව ඇගේ හැකියාවන් ඔප්නංවන්න දිරිමත් කලා. පෙර සිටම තරඟ වලට ඇයව ඉදිරිපත් කලේ මව විසින්. කවද හරි මැයට දිනන්න පුලුවන් බව ඇය විශ්වාස කලා. 

රෝගාතුරව සිටියත් මේ මව දිරිමත් කිරීම නැවැත්තුවේ නෑ. එම දිරිමත් කිරීම් හමුවේ ඇය තමන් ඉතුරු කරන් හිටපු මුදල් වියදම් කරල 1999දි  ගීතයක් පටිගත කරල ආයතන වලට ඉදිරිපත් කලා. ඒවාට ප්‍රතිචාර නොලැබුනත් ඇගේ හීනය නැවතත් ඇයට ලංවුනා. 2000 අවුරුද්දෙදි ඇයට දැඩි කම්පනයක් ඇති කරමින් ඇගේ සොහොයුරිය මිය යනව. මේ ශෝකයෙන් අතමිදීමට ඇය තව දුරටත් ගායනයට ලං වුනා.

මෙසේ කාලය ගත වද්දී ඇය නැවතත් ගායනය පුහුණුවීමට පුහුණුකරුවෙක් වෙත යොමුවුනා. ඒ වගේම ඇය විසින් තවත් ගීත කීපයක් පටිගත කෙරුනා. ඒත් නැවතත් ඇයව ගායනයෙන් ඈත් කෙරෙන සිදුවීමක් සිදුවුනා. ඒ 2007 අවුරුද්දෙදි ඇගේ මව මියයාම. ඇයට මෙය දරාගැනීම ඉතා අපහසු වුනා. ඇය ගීත ගායනය මුලුමනින්ම පාහේ අත හැරියා. ඇය නිවසේ තනිවම දිවි ගෙවන්නට යොමු වුනා. දවසේ වැඩි කාලයක් ඇය ගත කලේ පල්ලියේ වැඩිහිටියන් සමඟ කාලය ගත කිරීමටයි. ඇයගේ පවුලේ අය සහ ගායන පුහුණුකරු විසින් නැවතත් ගායනය ආරම්භ කිරීමට ඉල්ලීම් කලත් ඇය ඒවා දිගින් දිගටම ප්‍රතික්ෂේප කලා. ආසන්න වශයෙන් පුරා වසර දෙකක් ඇය මෙසේ ගායනයෙන් ඈත් ව සිටියා.

2008 වසරේ අගෝස්තු මාසයේ දී ඇගේ ගායන පුහුණුකරු තරඟයකට සහභාගී වීමට ඇයට පැවසුවා. ඇය මුලින් ප්‍රතික්ෂේප කලත්, බලවත් පෙරෙත්ත කිරීම් සහ මෙම තරඟයට සහභාගී වීම තම මවට කරන උපහාරයක් වන බව ඒත්තු ගැන්වීම නිසා අවසානයේ ඇය මෙම තරඟයට ඉදිරිපත් වීමට කැමති වුනා. තරඟය ජනප්‍රිය reality වැඩසටහනක් වුනු Britain's Got Talent. ඇය 2009 අප්‍රේල් 11 දින ප්‍රචාරය වුනු වැඩසටහනට ඉදිරිපත් කෙරුනා.

තරුණ වයසේ තරඟකුරුවන් වැඩිමනක් සහභාගී වූ ඒ තරඟයට ඇය සහභාගී වන විට වයස අවුරුදු 48ක්. වේදිකාව ඉදිරියට ආපු ඇගේ පෙනුම අපිලිවෙල සහගත වුනා. එක් විනිශ්චය කරුවෙකු ඇයව හාස්‍යයට ලක් කරමින් ප්‍රශ්න නැගුවේ ඇගේ එම පෙනුම නිසා වන්නට ඇත. ඒවාට බුද්ධියෙන් අඩු ඇය පිලිතුරු දුන් ආකාරය දුටු ප්‍රේක්ෂකාගාරයේ ඇතැම් පිරිස්  ඇයට ඇද කරන්නටද කට කොනකින් හිනා වන්නටද වුනා. ඇය මෙවන් තරඟ වලට පැමිණීමට මැලි වූයේ මෙවන් ප්‍රතිචාර ලැබෙන බව අත්දැකීමෙන්ම දන්නා නිසයි. නමුත් ශාලාවේ වූ එම තත්වය තව දුරටත් පැවතුනේ තත්පර කිහිපයක් පමනයි. ඒ විනිසුරුවන් ගේ අවසරයෙන් ඇය පෙර දවසක සංගීත සංදර්ශනයකදී ඇසීමෙන් පසු  ඇය ඉතාමත් ආදරය කරන්නට වූ Les Miserables චිත්‍රපටයේ ගීතය ගායනය කරන්නට පටන් ගන්නා තුරුය.  පසුබිමින් ඇසෙන්නට වූ සෙෘම්‍ය සංගීතයට ඇගේ වදන් මුසු වුනා, 

"I Dreamed a Dream......"

සැබවින්ම ඇගේ හීනය වේදිකාව මත දිගහැරෙන්නට වුනා. ඇයට සංවේදී වු ප්‍රේක්ෂකයන් මෙන්ම ඇයව සමච්චලයට ලක් කල ප්‍රේක්ෂකයන්ද පුදුමයෙන් සහ සතුටින් අත්පොලසන් දෙන්නට පටන් ගත්තා. එම තත්වයටම පත් වූ විනිශ්චය මණ්ඩලයද අසුන් වලින් නැගිට සතුටින් අත්පුඩි තලන්නට ගත්තා. ඇති වූ උත්කර්ෂවත් තත්වය හමුවේ සංවේදී කඳුලු බිංදු එම වේදිකාව වටකරගෙන සැලෙන්නට වුනා. වසර පනහකට ආසන්න තම ජීවිත කාලය හමුවේ ප්‍රථම වරට ඇය වෙනුවෙන් මිනිසුන්ගෙන් සමච්චල් හිනා වෙනුවට සතුටු හිනා නැගෙන බව ඇය දුටුවා.

මිලියන 100කට වඩා නරඹා ඇති මෙම youtube වීඩියෝවේ සටහන් වන්නේ එම පුදුමාකාර මොහොතයි.



එම මොහොත ඇගේ හීනය හැබෑවක් වීමේ ආරම්භය සටහන් කලා. ඒ වගෙම ලෝකයට අලුත් පාඩමක් කියා දුන්නා. පිට පෙනුමෙන් දේවල් මනින්නට එපා යැයි අපි කෙතරම් අසා තිබුනත් අපි නිරයාසයෙන් ම කරන්නේ ඒ දේ ම නේද? මට නං හිතන්න ගොඩාක් දේවල් මේ පුංචි විනාඩි 6 ඉතිරි කලා.

ඇගේ නම සූසන් බොයිල්. මේ වැඩසටහනේ ජනප්‍රියම තාරකාව වුනේ ඇය. අවසන් පූර්ව වටයෙන් වැඩිම ප්‍රේක්ෂක මනාපයක් හිමිකරගෙන අවසාන වටයට තේරුණු ඇය තරඟයේ දෙවන ස්ථානය ලබා ගත්තා. ඇය I Dreamed a Dream ගීතය ගායනා කල වීඩියෝව එවකට ලොව වැඩිම පිරිසක් නැරඹූ youtube වීඩියෝව වුනා.

2009 අග භාගයේ ඇය I Dreamed a Dream නමින්ම ගීත එකතුවක් නිකුත් කලා. සංගීත දර්ශක වල මුල් තැන හිමි කරගත් එම ගීත එකතුවේ පිටපත් මිලියනයකටත් වඩා සති හයක් තුල විකිණුනා. ඉන්පසු 2010දී ඇය නිකුත් කල The Gift නම් නත්තල් ගීත එකතුවද, 2011 දී ඇය නිකුත් කල Someone to Watch Over Me ගීත එකතුවද, 2012දී නිකුත් කල Standing Ovation ගීත එකතුවද විශාල ලෙස ජනප්‍රිය වුනා. 

තමන්ට වයස වැඩියි කියල හරි, පෙනුම හරි නෑ කියල හරි, තියෙන වෙනත් අඩුපාඩුවක් හින්ද හරි තමන්ගෙ හීන හැබෑකරගන්න දක්ශතා එලි දක්වගන්න බයෙන් ලැජ්ජාවෙන් ඉන්න අයට ඇය දෙන්නෙ කදිම ආදර්ශයක්. ඇය ජනප්‍රසාදයට පත්වූ පසු ඇයව හමුවූ පුවත් පත් මාධ්‍යවේදියෙක් ඇගෙන් ඇහුව, 
"ඔබ ඒ වේදිකාව මත ඉදිද්දි තේරුනේ නැද්ද බලන් හිටපු අය ඔබට හිනාවෙනව කියල?"
ඇගේ පිලිතුර වුනේ,
"මට හිතුනා ඒ අය මගේ පෙනුම ගැන හිතන විදිය. ඒත් මට හොදට සින්දු කියන්න පුලුවන් නම් මම මොකටද ඒ අය හිතන දේ ගැන වද වෙන්නෙ? මම එතනට ගියේ රූපලාවන්‍ය තරඟෙකට නෙමේ නේ"
Susan Boyle
(ඡායාරූපය The Telegraph වෙතිනි)


Friday 19 July 2013
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -