Archive for 2012

ලෝක විනාසෙට තව දවස් 13යි නෙව,


එහෙනං ඒකත් ඉවරය. ලෝකෙ විනාස වෙයි. විනාස වෙලා ඉවරයක්ම වුනෝතින් හොදය. නැත්තං බාගෙට විනාස වුනොතින් එහෙම ඊලඟට තව කාගෙ හරි කැලැන්ඩරයක් ඉවර වෙලා ලෝක විනාසෙ වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නය වෙන්නෙ.

ආශ්චර්යය බලන බලන පැත්තෙන් පේන මේ කාලෙ මේ ලෝක විනාසෙ මොන වගේ ආශ්චර්යමත් විදියකට වේවිද කියල හිතාගන්නත් බෑ. මොනා උනත් ඒක අපිට පේන අන්තිම ආශ්චර්යය වෙනවට මං කැමතිය. මොකෝ දැන් ආශ්චර්ය දැකල දැකල ඇති වෙලා තියෙන්නෙ. සමහර විට මේ පේන ආශ්චර්ය වල හැටියට ලෝක විනාසෙ මහ කජ්ජක් වෙන එකක් නෑ.

එහෙමයි කියල මං නං ලෝක විනාසෙ සුළුවට ගන් නෑ. මං ටෙලිවිසොන් ඇන්ටනාව කරකෝලා කරකෝල සිරසයි, පවුලේ නාලිකාවයි හොදට පේන්න හදාගෙනයි ඉන්නෙ. එච්චර ගැම්මක නැතුව ලෝක විනාසෙ වේගෙන ආවොත් සිරස දාගන්නව. දෙයියො බුදුන් සිහි වෙන්න ඒකේ දෙනවනේ ඕන එකක්. වැඩේ බලං ඉන්න බැරි තරං භයානක වේගෙන ආවොත් පවුලේ නාලිකාව දාගන්නව. ඒකේ ගොරකත් පැණි රහට දෙනවනේ.

ආයෙ දෙකක් නෑ මේ දවස් ටිකේ වත් සොමියක් දාගෙන ඉන්න ඕනා. තව මාසයක් වත් ලෝකෙ තිබ්බනං ලැම්බොගිනියක් වත් ගන්න තිබ්බ. මට දුක සැටලයිටෙන් රවුමක් යා ගන්න බැරි වෙච්ච එක ගැන. ආයෙ 20 20 මැච් එකක් බලන්න වෙන එකකුත් නෑ. දුක තමා. ඒත් ඉතින් අපේ එවුන්ට තව කපේකට වත් කප් එක ගන්න වෙන් නැති හින්ද  අවුලකුත් නෑ. මොකෝ ආණ්ඩුව මාරු වෙන්නෙත් නෑ නෙ.

බලං ගියාම ලෝකෙ විනාස උනයි කියල මහ ලොකු අවුලකුත් නෑ. අපිට ලැබෙන්න තියෙන හැමදේම ලැබිල නේ තියෙන්නෙ. ආයෙ හිටියයි කියල මොනව අළුතෙන් ගන්නද, මීට වඩා පඩි ලැබේවිද, මීට වඩා අඩුවට බඩු මිල තියේවිද, මීට වඩා අඩුවෙන් බදු ගහයි ද, නෑ නේ! ඒක හින්ද අවුලක් නෑ. මෙච්චර කල් හිටිය වගේ ඇහැ කන පියාගෙන ඔක්කොම හොඳටයි කියල හිටියම හරි.

කෝමත් ලෝක විනාසෙත් සතියක් යද්දි අමතක වෙලා යයි.

විනාසෙ වෙන හැටි දන්නවනං යටින් ලියල යන්ට.
Saturday 8 December 2012
Posted by හුලං

නිදහස් අධ්‍යාපනය නම් දේශද්‍රෝහි කුමන්ත්‍රණය

මෙය අධීන අපරාජිත රාජ්‍යයයකට එරෙහිව දේශද්‍රෝහීන් විසින් ගෙනයනු ලබන කූට ව්‍යාපාරයන් ගැන ඉමහත් සංවේගයට පත් වූ දේශප්‍රේමී හිතක් තුල හටගත් ජාතිමාමක සිතුවිලි සමුදායකි. එම සිතුවිලි සමඟ එකග වීම හෝ නොවීම  මත ඔබ මෙම දේශය තුල දේශ ප්‍රේමියයෙත් ද දේශද්‍රෝහියෙක් ද යන්න වග තීරණය කෙරෙනු ඇත.

ලොව බලවත්ම අධිරාජ්‍යයය මාගේ රාජ්‍යයයි.
ලොව බලවත්ම අධිරාජ්‍යයයා මාගේ රජානෝය.
එතුමන් ට ඉහලින් කිසිවෙකුත් නැත.
සම තැන් ගත් කිසි කෙනෙකුන් නැත.
අසලකට වත් ලගා විය හැකි කිසිවෙකුත් නැත.

මාගේ භූමිය රුදුරු රකුසන් ගිලගෙන සිටි සමයක් විය. රාජ්‍යයයේ යුධ සේනාවෝ රකුසාට බයෙන් පැන ගියෝය. එසේ වෙත් දී නා නා විද දුෂ්කරතා මධ්‍යයයේ රකුසාට එරෙහිව තනිව සටන් වැද රකුසාගේ හිස කඳින් වෙන් කලේ එතුමායි. රකුසා විසින් බන්ධනයට ලක් කර තම දුෂ්ඨ අමානුෂික ක්‍රියාවන් සිදුකිරීමට යොදා ගත් දේශප්‍රේමීන් එම බන්ධන වලින් මුදා ගෙන නිසි තැන ලබා දුන්නේ එතුමායි. එම අභ්‍යන්තරික දේශ ප්‍රේමීයත්වය දේශද්‍රෝහී පාහරයන්ට මතු නොව දේශප්‍රේමී අපටද හඳුනාගැනීමට අපහසුය. නමදු එතුමන් ගේ අන් සිත් විධාරනය කල හැකි මනැසට මෙම දේශප්‍රේමීයත්වය අල්ප මාත්‍රයයෙන් රැදී ප්‍රාණීන් වුව හඳුනා ගත හැකිය.

එවන් මහා රකුසකුගෙන් මේ භූමිය බේරා ගත් එතුමාට මේ භූමියේ සෑම බිම් අඟලක්ම අයිතිය හිමිය. එහෙයින් එතුමාට එරෙහි වන්නෝ මේ දේශයට ද එරෙහි වන්නෝය. නැතහොත් දේශද්‍රෝහීන් ය.  එය එසේ නොවේ යැයි කියන්නේ ද මේ පාහර දේශද්‍රෝහීන් මය.

අද අපේ දේශයේ සකල සියළු ජනතාව ට කන්න අදින්න දෙන්නේ ද, හිසට සෙවනක් ලබා දෙන්නේ ද, මිල මුදල් දෙන්නේ ද මෙතුමායි. එවන් වූ මහා පරිත්‍යාගයන් සිදු කරන එතුමන් ට පින් දෙනු වෙනුවට අද මේ තුඡ්ඡ අධම දේශද්‍රෝහීන් මේ දේශයේ පියාණන්ට එරෙහිව කුමන්ත්‍රණයන් දියත් කරයි.

එතුමන් විසින් අඳුරු මුල්ලක තිබූ ජරාජීරණ ස්ථානයක සිට ලොව අංක එකේ ස්ථානය ට ගෙන ආ අප දේශය ට ඊර්ෂ්‍යාවෙන් එය අගාධයට හෙලීමට දත කන ලොව මහා බලවතුන් යැයි කියාගන්නා පර සුද්දන් ගේ කුමන්ත්‍රණයන් අප දේශය තුල දියත් කිරීමට මේ දේශද්‍රෝහීන් සැදී පැහැදී සිටී. වැඩ වර්ජන, උද්ගෝශන ආදී ලෙසින් කරලියට නැගෙන්නේ මෙකී කුමන්ත්‍රණ වල එක් එක් පියවරයන්ය.

අද නවතම කුමන්ත්‍රණ රැල්ලක් බිහි ව ඇත්තේ නිදහස් අධ්‍යාපනය නම් විශය යටතේ ය. මෙය මෙසේ වන බව නම් අප වැනි දේශප්‍රේමීන් මුල සිටම දිටීය. අප දේශයේ විරුද්ධවාදීන් විසින් වපුරන ලදව අද වන විට මහා පලිබෝධකාරකයක් බවට මෙය වර්ධනය වී ඇත. ඉන් වස විස පොවා වර්ධනය කරන්නේ දේශද්‍රෝහීන් මය.   එතුලින් කරලියට පැමිණි ඇදුරන් යයි තමන්වම හඳුන්වාගන්නා පිරිසක් අප රාජෝත්තමයාගෙන් ලැබෙන පින් පඩිය මදි යැයි කියමින් වීදි බැස ඇත. (එහෙත් මේ නිදහස් අධ්‍යාපනය නිර්ථක බව හැඳින එහි නොවැදගත් භාවය ලොවට නොවලහා කියා පාන අල්පයක් වූ දේශප්‍රේමී ශ්‍රේෂ්ඨ බුද්ධිමත් ඇදුරුතුමන් හට අපි හිස නමා ආචාර කරමු.) 

දේශප්‍රේමීන්ගේ පිබිදීමක් ඇති මෙසමයෙහි මේ පලිබෝධකාරකයට තව දුරටත් මාගේ දේශයට වින කැටීමට දේශප්‍රේමී  අප ඉඩ නොතබමු. අධ්‍යාපනය ලැබිය යුත්තේ ඊට සුදුස්සන් පමණි. ජාත්‍යාලයෙන් ඔද වැඩුනු දේශප්‍රේමී පරම්පරාවන්ට පමණක් මේ අවස්ථාව දිය යුතුය. දේශයේ වාසනාවට බිහිව ඇති මෙවන් දේශප්‍රේමීන් ට දේශය විසින් මහැගි සැප සම්පත් ධන නිධාන නිතැතින් ම හිමි කර දෙයි. අධ්‍යාපනයට ඉහල මිලක් අය කල යුතුය. එතුලින් පින් පඩි ගෙන පින් බත් කන දේශද්‍රෝහී පරම්පරා වල වුන්ට තව දුරටත් අධ්‍යපන වරම් ලැබීම නවතා දැමිය හැකිය. එමෙන්ම අධ්‍යපනය ලැබීමට පරම සුදුස්සන්ට පෙර පින් බලයෙන් දේප්‍රේමී ලයක් ඇතිව ඉපදුනු නිසා ම දේශය විසින් හිමි කර දෙන මහත් වූ ධනස්කන්ධයෙන් කොටසක් වැය කර අධ්‍යාපනය ලැබිය හැකි වනු ඇත. 

නිදහස් අධ්‍යාපනයේ මුදුන් මුලටම පොරෝ පහර වදින විට ඉන් පොෂණය වෙමින් සිටියවුන් කඩි ගුලක් මෙන් ඇවිස්සී ඇත. එසේ වන බවද අප දනිමු. මාවත් පුරා වදන් කොල ඇලවෙන්නේද වීදි බැස කෑ කෝ ගසමින් උද්ගෝෂන කරන්නේද තම තිබිරි ගෙයි අවසානයේ ආරම්භය දැක වියරු වැටුනු දේශද්‍රෝහීන් ය. වයසින් බාල වුන් ද මේවා ට එක් වෙති. එහෙත් නයි විශ නයි විශම බව අපි දනිමු. ඇතැමුන් හඩා වැලපෙන්නේ ද, සියදිවි හානි කර ගැනීමේ සන්දර්ශන පවත්වන්නේ ද අප අනුකම්පාව දිනා ගැනීමටය. දැන් භූමිකම්පාවක් බවට පත්ව අප දේශයට වින කටින්නේ අප තුල පෙර වූ අනුකම්පාවමය. අප දැන් රැවටෙන්නේ  නැත. ඔවුන් ඔවුන්ට හිමි තැන දැන ගත යුතුය.

රාජෝත්තමයානෙනි, නිදහස් අධ්‍යාපන උවදුරින් අප දේශය මුදවා ගැනීමේ සටනේදී දේශප්‍රේමී අප සැමදා ඔබ සමඟයි, 

ආයුබෝවේවා! 
Sunday 12 August 2012
Posted by හුලං

වෙනද වගේම

වෙනද වගේම බසයට නැග ගත්තෙ ගෙදර යන්න. හැම දෙයක්ම වෙනද වගේමයි. බස් එකේ පිටිපස්සෙම තියෙන දිග සීට් එකේ මැදින් වාඩිවුනා. හිටගෙන කවුරුවත් හිටියෙ නැති වුනත් සීට් ඔක්කොම වගේ පිරිලයි තිබුනෙ. දවල් දොලහට විතර වෙච්ච නිසා තිබුනු රස්නෙත් එක්ක නිදි මත ගතියෙන් තමයි හිටියෙ. බස් එකේ ඉදපු ගොඩක් කට්ටිය සීට් එකට හරි ජනේලෙට හරි ඔලුව හේත්තු කරන් නිදාගෙනයි හිටියෙ. බස් එක ටික දුරක් යද්දි මමත් නිදි. මගින් මගට කලබලෙන් ඇහැරිලා බලනව බහින තැන පහු වෙලාද කියල.

ඔහොම එක පාරක් ඇහැරෙද්දි පිරිසිදු කමීසෙකුයි කලිසමකුයි ඇදගත්තු අවුරුදු විසි පහක තිහක වගේ තරුණයෙක් බස් එකේ ඉස්සරහට වෙන්න සීට් එකකට හේත්තු වෙලා පිටිපස්ස බලාගෙන හිටගෙන ඉන්නව. කලින් බස් එකේ මහ හයියෙන් දාලා තිබ්බ සින්දුත් නැවතිලා. අර තරුණයගෙ අතේ පොත් මිටියකුයි, තව බීම බට වගේ හැබැයි ඊට වඩා මහත බට ටිකකුයි තිබුන. 

“සියළු දෙනාටම ආයුබෝවන්!“ තරුණයා පටන් ගත්ත.

“මං ගාව තියෙන මේ පොතේ නම පෞරාණික වෙද වට්ටෝරු. මේකෙ තියෙනව අපේ ගෙවතු වලින් ම හොයාගන්න පුලුවන් ගස් වැල් ජාති පාව්ච්චි කරල තුවාල සනීප කරන්න , ලෙඩ සුව කරගන්න පුලුවන් බෙහෙත් වට්ටෝරු සීයක්. හන්දි රුදාවට , දිය වැඩියාවට, ඉරුවාරදයට බෙහෙත් මේ පොතේ තියෙනව. හදිසියෙ තුවාලයක් උනාම ඉස්පිරිතාලෙ හරි ඩිස්පෙන්සරියකට ගෙනියනකක් ඉන් නැතුව ලග තියෙන ගහ කොල වලින් බෙහෙතක් කර ගන්නෙ කොහොමද කියල මේ පොතේ තියෙනව. ............ “

ඔය විදියට තරුණයා තම වෙළද භාණ්ඩය හදුන්වල දෙන්න ගත්ත. මෙකත් ඉතින් බස් වල නිතරම දකින්න තියෙන දෙයක්. බස් වලට නැගල වෙළදාම් කරන එක තහනම් කියල සමහර රියදුරු මහත්වරු කොන්දොස්තර මහත්වරු මේ අයව බස් වලට නග්ගගන්නෙ නෑ. මේ බස් එකේ ඒ මහත්වරු එහෙම නැතිව ඇති. කොහොම වුනත් මෙකත් වෙනද වගේම සිද්දවෙන හුරුපුරුදු දෙයක්.

තරුණයා තමන්ගෙ අතේ තියෙන පොත ගැන විස්තර කියන අතරවාරයෙ ඊලගට එන නැවතුමේ බහින්න ඉන්න අය ඉස්සරහ දොර ගාවට යන්න නැගිට්ට. ඒ අයට යන්න මේ තරුණය ඉඩක් දෙනව පෙනුනෙ නෑ.  ඔහුගේ ඇගේ වැදීගෙන තෙරපිලා තමයි මේ අයට යන්න වුනේ. තමන්ගෙ බඩු මලුත් උස්සගෙන අමාරුවෙන් ඉස්සරහට යද්දි ඒකටවත් ඉඩක් නොදෙන මේ වෙළෙන්ද ගැන තරහක් ඇති වුනු බව ඒ අයගෙ මූණු වල පෙනුන. මටත් ඒ වෙලාවෙ ඇති  වුනේ නොරුස්සන ගතියක්. තරුණය බස් එකේ ඉදිරිය දිහාවට මූණ හරවල සමාවෙන්න කියල කියනවත් මට යාන්තමින් ඇහුන. 

කොහොම හරි පොතේ මිල රුපියල් පනහක් කියල, ඔහුගෙ බිරිදයි දරුවනුයි ජීවත් කරවන්නෙ මේ පොත් විකුණල ලැබෙන ආදායමෙන් බවත් කියල අන්තිමේදි තරුණය මේ පොත් ටික විකුණන්න ගත්ත. පොත වටින බව හිතපු හින්ද හරි තරුණයට හයියක් වෙන්න හිතල හරි පොතේ මිල ගෙවන්න පුලුවන් කම තිබුනු කීප දෙනෙක් පොත් මිලදී ගන්න ඉදිරි පත් වුනා. මං ගාවත් රුපියල් පනහක් තිබුන. බෙහෙත් වට්ටෝරු ගැන තියෙන ඒ පොත ගන්න පුංචි උවමනාවකුත් තිබුනත් බස් වලට නැගල වෙලදාම් කරන බොරුකාරයන් ගැන කතා මතක් වුනු හින්දත් ඒ රුපියල් පනහෙන් බස් එකෙන් බැහැල කඩචෝරු මොනාහරි කන්න පුලුවන් කියල හිතිච්ච හින්දත් මම කරබාගත්ත.

මං ගාවම හිටපු කෙනත් ඒ තරුණයගෙන් පොතක් ගත්ත. තරුණයට මුදල් දුන්නම ඔහු ආයෙම ඇහුව “කීයද මහත්තය දුන්නෙ?“. 
“ සීයක් දුන්නෙ“.
“ආ, පොඩ්ඩක් ඉන්න මහත්තය“ කියල තරුණය වම් කලිසම් සාක්කුවට අත දාලා පනහෙ කොලයක් අරන් ආයෙම දුන්න. “බොහොම ස්තූතියි මහත්තය“

මෙච්චර හොදට ඇදල හිටියත් අකුරු වත් කියවගන්න බැරි මනුස්සයෙක් කියල මට හිතුනෙ. ඒ අතරෙදි බස් එක නැවතුමක නවත්තන්න වේගෙ අඩු කරා. කොන්දොස්තර මහත්තය ඇවිත් පිටිපස්සෙ දොර ගාව හිටගෙන ඉදපු අර තරුණයට කීවා “මෙතනින් බැහැගන්න“.

බස් එක නැවැත්තුවම තරුණයා දොරෙන් පහලට බැස්ස.

අපි ඒ දිහා බලන් ඉන්න බව දැක්ක කොන්දොස්තර මහත්තය අපේ දිහාවට හැරුන.
“ඔය මම දන්න කෙනෙක්. ඉපදුනු දා ඉදන් ඔහොමලු.
රත්මලානෙ ගිහින් අමාරුවෙන් ඉගෙනගෙන උසස් පෙලත් කරල.
ඒත් රස්සාවක් හම්බුවෙලා නෑ.
කරන්න දෙයක් නැතිකමට මේක කරනව.“

බස් රථය හෙමින් ඉදිරියට යන්න ගත්ත. පිටිපස්ස හැරිල නැවතුම දිහා බැලුනෙ ඉබේටම වගේ.
නැවතුමේ අයිනක හිටපු තරුණයා අතේ ගුලි කරන් හිටපු බට ටික දිග ඇරල සුදු සැරයටියක් හදාගත්ත.

මට මගේ කමීස සාක්කුවෙ තිබුනු රුපියල් පනහ දිහා බැලුන.


                                                                  ෴෴෴


Sunday 3 June 2012
Posted by හුලං

රන් මුදුවක්...



දිගම දිග ආදර කතාවක අන්තිමට ආදරවන්තයගෙන් වෙන් වෙලා ආදරවන්තියට වෙනත් කෙනෙකු ගෙ අත ගන්න වුනොත්?


එහෙම වෙන්න හේතුව, මේ ආදරය ගැන නොදැනුවත්ව හරි එහෙමත් නැත්නම් ඒ ආදරය ගැන දැනගෙන ඒක බිඳදාන්න හිතල හරි ඒ ආදරවන්තියගෙ ගෙදරින් වෙනත් විවාහ යෝජනාවක් අරගෙන ආපු එක නම්. ඒ විතරක් නෙමෙයි මේ ආදරවන්තියගෙ කැමැත්තක් නැතිවම මේ විවාහය තීන්දු කරල විවාහය සිදු කරපු හින්ද නම්...?


මේ අසීමාන්තික ආදර කතාවෙ පෙම්වතුන්ට අකුල් හෙලපු සාහසික දුර්ජනයින්ගෙ ලැයිස්තුවක් හදන්න ඔයාට කීවොත් කාවද ඒකේ උඩටම දාන්නෙ? පෙම්වතියගෙ දෙමාපියන්, නෑදැයන්, සමහර විට පෙම්වතාගෙ දෙමාපියන් නෑදෑයන් වුනත් සම්බන්ධ වෙලා තියෙන්න ඉඩ තියෙනව නේද, තවත් හිතනව නම් මේ ආදර සම්බන්ධය ගැන ගෙදරට ගතු කියපු ලිඳ ලඟ සංගමේ මැගි අක්කල, සොපි නංගිලවත් දාන්න ඕන නේ. ආ.. ඇයි එතකොට මේ ආදරවන්තියව ආදරවන්තයගෙන් වෙන් කරල තමන් ලඟ තියාගන්න හදන තරුණයා.


ඒත්....


විවාහයට කලින් ඔහු ඒ ගැන දැනන් හිටියෙ නැත්නම්,
යොජනාවෙන් විවාහ කර ගත් යුවතියට එක සිතින්ම ආදරය කරන්න ඔහු බලාපොරොත්තු වුනානම්,
ඒ යුවතියගෙ ආදරය වෙනතකට යොමුවෙලා තියෙන බව දැනෙන්නට ගත්තත්
ඔහුගේ බලාපොරොත්තුව අංශු මාත්‍රයකින් වත් අඩු නොවෙනවා නම්,


ඒක සැබෑ ආදර කතාවක පටන් ගැන්ම වෙන්න බැරිද..?



    රන් මුදුවක් පැලඳූ පමණින් ආදරයක් හිමිවේදෝ
    රන් තැල්ලක් බැන්දූ විලසින් ජීවිතයක් හැඩවේදෝ
    මුතු කඳුලක් සැඟවූ තරමින් ආදරයක් ලියවේදෝ
    දෙගුරුන් සනහා අප බැඳුනත් ඔබගේ හදවත සැනසේදෝ ..//


   මා ලඟට වෙලා ඔබ රැඳුනත් ඔබෙ හිත කොහේදෝ ඉගිලේ
   ඔබෙ හිත රවටා ඔබ සිටියත් පෙර සෙනෙහස සිහි ගැනුනේ
   දුක දැනෙනු නමුදු ප්‍රිය ලඳුනේ
   මේ දිවියේ ඉරණම ඔබගේ


   උරුම වූ ලෙසට අප බැඳුනත් මා පිය සෙනෙහස මැද්දේ
  අහිතක් කිසි නොසිතන අයුරින් මගෙ පෙම ඔබ වෙත බැඳුනේ
   නෙතු කඳුලු පිසින්නට ඔබගේ
   දිවිය පුරා මා ඉන්නේ


   රන් මුදුවක් පැලඳූ පමණින්...

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන මේ ගීතය ලියුවෙ කවුද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි මේක අමුතුම ලස්සනක් තියෙන ඇත්තම ඇත්ත ආදරයක් ගැන නේද කියලයි මට හිතුනෙ.



       නුඹට පෙම් කල පෙම්වතාගෙන් තිළිණ ලද නුඹෙ පුතුට මං
       සුළු පියා නොව පියා වෙන්නම් එපා කඳුලැලි ඔය තරම්


මඟුල් පෙරහැර ගියත් ආපසු කලත් අවමන් නෑසියන්
කිළුට පල නෑ සෙනෙහෙ ඇත්නම් නුඹ අගෙයි මට නම්...


නුඹට පෙම් කල පෙම්වතාගෙන් ...


නුවන් දොරඟුලු ඇරන් මා ලඟ හෙටත් අද මෙන් ආදරෙන්
හිඳිනු මැන මා පුතුගෙ කිරටත් මව නුඹයි පින්වත්


නුඹට පෙම් කල පෙම්වතාගෙන් ...

මේ ගීතය චාමර වීරසිංහගෙ. 
ඇත්තටම මේ වගේ හිත් තියෙන මිනිස්සු කොච්චර නම් සුන්දරද?
Wednesday 16 May 2012
Posted by හුලං

හති වැටුනු වෙලාවක


පින්තූරය www.favim.com වෙතිනි.

සිතන්නට සිතුනු විට ජීවිතයෙ අරුණ ගැන
අනන්තයෙ ඉම සොයා දුවන මඟ නැවතුමක
කිනිත්තක අග පිපුනු මල් කැකුලු හිනා වෙල
මට කීව,

කටු පඳුරු සිප ගන්න හෙට මලක් පිබිදේවි
ඒ මල පිපුනු පසු එහි සුවඳ මදි වේවි
තවත් මල් සොය සොයා නොනැවතී ඔබ යාවි
ජීවිතය විඳගන්න වෙලාවක් නැති වේවි

ඒ මල නොවේ ජීවිතයෙ ඔබ සොයන මීවිතය
ඒ සතුට ඒ සුවය ඔබ ලඟය සැම විටම
හඟින්නට හැකි නම්
 කටු පදුරෙ මුදු සුවය
සිබින්නට හැකි නම්  මල් සේම 
ආදරය පිරි හදින්
මිහිරි වෙයි සැම දෙයම මිහිතලය තුරුලෙ වන

ජීවිතය සිත්තමකි ආදරෙන් පැහැ ගැනෙන
Sunday 26 February 2012
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -