Archive for June 2012

වෙනද වගේම

වෙනද වගේම බසයට නැග ගත්තෙ ගෙදර යන්න. හැම දෙයක්ම වෙනද වගේමයි. බස් එකේ පිටිපස්සෙම තියෙන දිග සීට් එකේ මැදින් වාඩිවුනා. හිටගෙන කවුරුවත් හිටියෙ නැති වුනත් සීට් ඔක්කොම වගේ පිරිලයි තිබුනෙ. දවල් දොලහට විතර වෙච්ච නිසා තිබුනු රස්නෙත් එක්ක නිදි මත ගතියෙන් තමයි හිටියෙ. බස් එකේ ඉදපු ගොඩක් කට්ටිය සීට් එකට හරි ජනේලෙට හරි ඔලුව හේත්තු කරන් නිදාගෙනයි හිටියෙ. බස් එක ටික දුරක් යද්දි මමත් නිදි. මගින් මගට කලබලෙන් ඇහැරිලා බලනව බහින තැන පහු වෙලාද කියල.

ඔහොම එක පාරක් ඇහැරෙද්දි පිරිසිදු කමීසෙකුයි කලිසමකුයි ඇදගත්තු අවුරුදු විසි පහක තිහක වගේ තරුණයෙක් බස් එකේ ඉස්සරහට වෙන්න සීට් එකකට හේත්තු වෙලා පිටිපස්ස බලාගෙන හිටගෙන ඉන්නව. කලින් බස් එකේ මහ හයියෙන් දාලා තිබ්බ සින්දුත් නැවතිලා. අර තරුණයගෙ අතේ පොත් මිටියකුයි, තව බීම බට වගේ හැබැයි ඊට වඩා මහත බට ටිකකුයි තිබුන. 

“සියළු දෙනාටම ආයුබෝවන්!“ තරුණයා පටන් ගත්ත.

“මං ගාව තියෙන මේ පොතේ නම පෞරාණික වෙද වට්ටෝරු. මේකෙ තියෙනව අපේ ගෙවතු වලින් ම හොයාගන්න පුලුවන් ගස් වැල් ජාති පාව්ච්චි කරල තුවාල සනීප කරන්න , ලෙඩ සුව කරගන්න පුලුවන් බෙහෙත් වට්ටෝරු සීයක්. හන්දි රුදාවට , දිය වැඩියාවට, ඉරුවාරදයට බෙහෙත් මේ පොතේ තියෙනව. හදිසියෙ තුවාලයක් උනාම ඉස්පිරිතාලෙ හරි ඩිස්පෙන්සරියකට ගෙනියනකක් ඉන් නැතුව ලග තියෙන ගහ කොල වලින් බෙහෙතක් කර ගන්නෙ කොහොමද කියල මේ පොතේ තියෙනව. ............ “

ඔය විදියට තරුණයා තම වෙළද භාණ්ඩය හදුන්වල දෙන්න ගත්ත. මෙකත් ඉතින් බස් වල නිතරම දකින්න තියෙන දෙයක්. බස් වලට නැගල වෙළදාම් කරන එක තහනම් කියල සමහර රියදුරු මහත්වරු කොන්දොස්තර මහත්වරු මේ අයව බස් වලට නග්ගගන්නෙ නෑ. මේ බස් එකේ ඒ මහත්වරු එහෙම නැතිව ඇති. කොහොම වුනත් මෙකත් වෙනද වගේම සිද්දවෙන හුරුපුරුදු දෙයක්.

තරුණයා තමන්ගෙ අතේ තියෙන පොත ගැන විස්තර කියන අතරවාරයෙ ඊලගට එන නැවතුමේ බහින්න ඉන්න අය ඉස්සරහ දොර ගාවට යන්න නැගිට්ට. ඒ අයට යන්න මේ තරුණය ඉඩක් දෙනව පෙනුනෙ නෑ.  ඔහුගේ ඇගේ වැදීගෙන තෙරපිලා තමයි මේ අයට යන්න වුනේ. තමන්ගෙ බඩු මලුත් උස්සගෙන අමාරුවෙන් ඉස්සරහට යද්දි ඒකටවත් ඉඩක් නොදෙන මේ වෙළෙන්ද ගැන තරහක් ඇති වුනු බව ඒ අයගෙ මූණු වල පෙනුන. මටත් ඒ වෙලාවෙ ඇති  වුනේ නොරුස්සන ගතියක්. තරුණය බස් එකේ ඉදිරිය දිහාවට මූණ හරවල සමාවෙන්න කියල කියනවත් මට යාන්තමින් ඇහුන. 

කොහොම හරි පොතේ මිල රුපියල් පනහක් කියල, ඔහුගෙ බිරිදයි දරුවනුයි ජීවත් කරවන්නෙ මේ පොත් විකුණල ලැබෙන ආදායමෙන් බවත් කියල අන්තිමේදි තරුණය මේ පොත් ටික විකුණන්න ගත්ත. පොත වටින බව හිතපු හින්ද හරි තරුණයට හයියක් වෙන්න හිතල හරි පොතේ මිල ගෙවන්න පුලුවන් කම තිබුනු කීප දෙනෙක් පොත් මිලදී ගන්න ඉදිරි පත් වුනා. මං ගාවත් රුපියල් පනහක් තිබුන. බෙහෙත් වට්ටෝරු ගැන තියෙන ඒ පොත ගන්න පුංචි උවමනාවකුත් තිබුනත් බස් වලට නැගල වෙලදාම් කරන බොරුකාරයන් ගැන කතා මතක් වුනු හින්දත් ඒ රුපියල් පනහෙන් බස් එකෙන් බැහැල කඩචෝරු මොනාහරි කන්න පුලුවන් කියල හිතිච්ච හින්දත් මම කරබාගත්ත.

මං ගාවම හිටපු කෙනත් ඒ තරුණයගෙන් පොතක් ගත්ත. තරුණයට මුදල් දුන්නම ඔහු ආයෙම ඇහුව “කීයද මහත්තය දුන්නෙ?“. 
“ සීයක් දුන්නෙ“.
“ආ, පොඩ්ඩක් ඉන්න මහත්තය“ කියල තරුණය වම් කලිසම් සාක්කුවට අත දාලා පනහෙ කොලයක් අරන් ආයෙම දුන්න. “බොහොම ස්තූතියි මහත්තය“

මෙච්චර හොදට ඇදල හිටියත් අකුරු වත් කියවගන්න බැරි මනුස්සයෙක් කියල මට හිතුනෙ. ඒ අතරෙදි බස් එක නැවතුමක නවත්තන්න වේගෙ අඩු කරා. කොන්දොස්තර මහත්තය ඇවිත් පිටිපස්සෙ දොර ගාව හිටගෙන ඉදපු අර තරුණයට කීවා “මෙතනින් බැහැගන්න“.

බස් එක නැවැත්තුවම තරුණයා දොරෙන් පහලට බැස්ස.

අපි ඒ දිහා බලන් ඉන්න බව දැක්ක කොන්දොස්තර මහත්තය අපේ දිහාවට හැරුන.
“ඔය මම දන්න කෙනෙක්. ඉපදුනු දා ඉදන් ඔහොමලු.
රත්මලානෙ ගිහින් අමාරුවෙන් ඉගෙනගෙන උසස් පෙලත් කරල.
ඒත් රස්සාවක් හම්බුවෙලා නෑ.
කරන්න දෙයක් නැතිකමට මේක කරනව.“

බස් රථය හෙමින් ඉදිරියට යන්න ගත්ත. පිටිපස්ස හැරිල නැවතුම දිහා බැලුනෙ ඉබේටම වගේ.
නැවතුමේ අයිනක හිටපු තරුණයා අතේ ගුලි කරන් හිටපු බට ටික දිග ඇරල සුදු සැරයටියක් හදාගත්ත.

මට මගේ කමීස සාක්කුවෙ තිබුනු රුපියල් පනහ දිහා බැලුන.


                                                                  ෴෴෴


Sunday 3 June 2012
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -