Archive for September 2011

කාල තරණය ගැන මට හිතෙන හැටි

ඡායාරූපය www.universalfunding.com වෙතිනි.


මේ කාලය හරහා ගමන් කරන එක ගැන මගේ ඇච්චං ගොං මොලේට හිතිච්ච දෙයක්. මේක තනිකරම අමූලික බොරුවක් වෙන්න හොඳටෝම ඉඩ තියෙනව හොදේ. මේක සීරියස් කියවන්න හිතනවනම් අනේ කියවන්න එපා. (එහෙම කියවන්න ඕනෙනම් මේක බලනවයැ. සීරියස් වෙනතක් බලනවනේ, නැද්ද..)

මිනිස්සු කාලය හරහා ගමන් කරනවා මම හැමදාම වගේ දකිනව. සමහරු අකුණු පාරක් වගේ එකකට පැනල අතීතෙට යනවා. තව සමහරු කරත්තෙක නැගල අනාගතේට යනව. තවත් අය අතේ තියෙන ඔරලෝසුව කරකවල කාලය හරහා ගමන් කරනව. හරියට මිනිස්සු බස් එකේ නැගල නුවර යනව වගේ. මං දැක්ක කිව්වෙ ඉතිං ෆිල්ම් වල.

දැන් ඔන්න තියරි පාර්ට් එක. මට හිතෙනව කාලය කියන්නෙ හතර වෙනි මානය කියල කියන නිසා ඒකත් දිග , පළල, උස වගේ දෙයක් කියල. මට මතක හැටියට ආතර් සී. ක්ලාක් මහත්තයා මේ මාන ගැන කියල තියෙනව මෙහෙම දෙයක්. පලවෙනි මාන තුන ගැන දැනීමක් ඇති අපි ඊලඟ මානය ගැන හිතද්දි අපි පියවරක් පස්සට ගහින් බලමු. ඒ කියන්නෙ දෙවෙනි මානයට යමු. දැන් අපි හැදිල තියෙන්නෙ දිගෙනුයි, පළලෙනුයි. හරියට කඩදාසියක් උඩ තියපු අඩි කෝදුවක් වගේ. ඒකට කැරකෙන්න විතරක් නෙමෙයි ඇකිලෙන්න දිගඇරෙන්න පුලුවන් වුනත් උඩ පැනල කැරකිලා අනිත්පැත්ත ගැහෙන්න නම් විදියක් නෑ. එහෙම දෙයක් කරන්න තියා හිතාගන්න වත් බෑ. (එහෙම දේවල් ගැන කියවන කට්ටිය එහේ තියෙන ද්විමානයේ පීස්සං කොටුවට දානවලු :-D)මොකද එහේදි අපි දන්නෙ දිග පළල ගැන විතරයි. උස පැත්තක් ගැන හිතාගන්නවත් බෑ එහෙම දෙයක් නොදැනෙනකොට. ඉතිං අපි ආයෙම එහෙදි හිතාගන්නවත් බැරුව තිබිච්ච ත්‍රිමාණයට ඇවිල්ල බලමු. දැං හතර වෙනි මානය ගැන අදහසක් ගැන හිතන විදිය ගැනවත් අදහසක් ලැබෙයි. ඕක මං ලීවට වැඩිය ගොඩක් ලස්සනට ආතර් සී. ක්ලාක් මහත්තයා කියල තියෙනව හොදේ. හැබැයි ඉතිං ඒ හතරවෙනි මානය කාලය කියල නම් එතුමා කියල නෑ මයි හිතේ.

මම නිකමට වගේ හිතනව කාලය කියන්නෙ හතරවෙනි මානය කියල. මම තව හිතනව කාලය කියන්නෙත් දිග, පළල, උස වගේ අවකාශයක් නිර්මාණය කරන රාශියක් කියල. ඒ කියන්නෙ මොකක් හරි දෙයක් තියෙන තැන ද්විමානයේදී දිග, පළල කියන අක්ෂ දෙකක් තියෙන සටහනක ලකුණු කරන්න පුලුවන් වගේ, ත්‍රිමාණයේ දී දිග, පළල, උස කියන අක්ෂ තුනක් තියෙන සටහනක ලකුණු කරන්න පුලුවන් වගේ, මම හතරවෙනි මානය කියල හිතන කාලයත් අරගෙන දිග, පළල, උස සහ කාලය කියන අක්ෂ හතරක් තියෙන සටහනක ලකුණු කරන්න පුලුවන්ය කියල මම හිතනව. (අක්ෂ 4ක් තියෙන සටහනක් මොන වගේද කියල මම දන්නෑ ඉතිං. ඔන්න ඔහේ හිතුවා)

දැං හිතන්න ඔයා හිටං ඉන්න තැන දිග, පළල, උස අක්ෂ තුන තියෙන සටහනක රතු පාට තිතකින් ලකුණු කරනව.(නැත්තං කැමති වෙන ඕන පාටකින් තිත තියාගන්න.) ඔන්න ඔයාට එකපාරට උඩ පනින්න හිතිල ඔයා උඩ පනිනව. මේක බලං හිටිය එකෙක්ට හිතෙනව ඔයා උඩ ඉඳිද්දි හිටපු තැන අර සටහනේම ලකුණු කරන්න. එයා ඒක නිල් පාටිං තිතක් තියල ලකුණු කරනව.(ඒක ඒ බලං හිටපු හාදය කැමති පාට) දැං ඔයා මේ සටහන ඇරගෙන බලද්දි පේනවා ඔයා උඩ ඉදිද්දි හිටපු තැන පෙන්නන නිල් පාට තිත උස පැත්තට තියෙන අක්ෂය දිගේ අනික් තිතට උඩින් තියෙනව. හැබැයි දිග, පළල කියන අක්ෂ දිහාවෙන් බැලුවහම තිත් දෙක එක උඩ තියෙන්නෙ. මොකද ඔයා එකතැන උඩ පනිද්දි උඩ පැත්තට දුරක් ගියාට අනික් පැති වලට හෙල්ලෙන්නෙ වත් නෑ නෙ.

ඔන්න ඊලඟ පියවර. දැන් ඔන්න තව හාදයෙක් අරං එනව අක්ෂ 4ක් තියෙන සටහනක් ,ඒ කියන්නෙ දිග, පළල, උස සහ කාලය කියන පැති වලට අක්ෂ තියෙන සටහනක්. මොකටද, ඔයාගෙ පිහිටීම ලකුණු කරගන්න. එයා ඔරලෝසුව බලනව. වෙලාව රෑ 12.00යි. (ආ.. ඒ වෙලාවට කවුරුවත් ඔයා ලඟට එන් නැද්ද? ඔයා ගස් නඟින වෙලාවනෙ නේ!) එහෙනං ආයෙම පොඩ්ඩක් පස්සට යං. යාළුව සටහන අරන් ඇවිල්ල ඔන්න ඔරලෝසුව බලනව. වෙලාව හවස 5.00යි. එයා ටක් ගාලා ඔයා ඉන්න තැන සටහනේ තිතකින් ලකුණු කර ගන්නව. ඔයා ‘මේකාට එක එක ඒවයි ලකුණු කරගන්න ඔනැයි කියල මං මක්කටෙයි හෙලවෙන්නෙ‘ කියල හිතල හෙල්ලෙන් නැතුව ඉන්නව. ආයෙ ගල් පිළිමයක් හෙල වුනත් ඔයා නෙමේ හෙලවෙන්නෙ. ඔන්න විනාඩි 5ක් විතර ඔහොම්මම හිටියා කියමුකෝ. යන්තං යාළුව ඔයා ඉන්න තැන ලකුණු කරනව දැක්ක. ඔන්න ඉතින් ආයෙ බලන්න දෙයක් තියේයැ. හෙලවුන් නෑ නේ.ඔයා ඉතින් කට කොනකින් හිනාවක් දාගෙන මූණත් ඇද කරගෙන ඇවිල්ල “කෝ, මං හෙලවිච්චි හැටි ලකුණු කොර ගත්තද“ කියල අහනගගමන් යාළුවගේ සටහනට එබුන.

අපොයි, මෙච්චර මහා මේඝ පර්වතේ වගේ නොසෙල්වි ඉඳලත් මෙන්න මේකෙ තිත් දෙක තැන් දෙකක. ආයෙ තිත් දෙක දිහා හොඳට බලන්න. දිග පැත්ත ගත්තහම තිත් දෙක එක උඩ, පළල පැත්තයි, උස පැත්තයි ගත්තහමයිත් එහෙමයි. ඒ කියන්නෙ ඇත්තටම ඔයා හෙලවිලා නෑ. හැබැයි කාල අක්ෂයෙ තැන් දෙකක තමයි තිත් දෙක තියෙන්නෙ. හරිනේ, පළවෙනි තිත ලකුණු කරල විනාඩි 5කට පස්සෙනේ දෙවෙනි තිත ලකුණු කලේ. ඒ වෙනස තමයි තිත් දෙකෙන් පේන්නේ.

දිග, පළල, උස කියන මාන වලින් හැඳුනු අවකාශයේ ඔයා පොඩ්ඩක් වත් හෙලවිලා නෑ කියන එක ස්ථිරයි. හැබැයි මගේ මනෝ විකාරෙ හැටියට කාලය කියන්නෙත් දිග, පළල විදියෙම මානයක්. ඒකෙ හැටියට නම් ඔයා අර හෙලවෙන් නැතුව හිටපු වෙලාවෙ ඉඳල තියෙන්නෙ දිග, පළල, උස සහ කාලය කියන මාන වලින් හැදිච්ච සිව් මාන ලෝකෙක. ඒකෙදි ඔයා කාලය කියන පැත්තට හෙලවිලා තියෙන බව තමයි අර යාළුවගෙ සටහනෙන් පෙනුනෙ. ඔයා උවමනාවෙන් කරපු දෙයක් නෙවෙයි නේ. හරියට අපි නොදැනුවත්වම හුස්ම ගන්නව වගේ නිකම්ම සිද්ද වෙලා. ඔයා විතරක් නෙමෙයි ඒ විනාඩි පහ ඇතුලෙදි ඔයා වාඩිවෙලා හිටපු පුටුව, ලඟ තිබ්බ මේසෙ, ඔයා දිහා බලන් හිටපු යාළුව, ඒ යාළුවගෙ යාළුවො, ලෝකෙම ඉන්න මිනිස්සු, සත්තු, දේවල්, ඉර, හඳ කොටින්ම අපේ ත්‍රිමාණ ලෝකෙ තියෙන හැම දෙයක්ම ඔයත් එක්කම ගමන් කරල තියෙනව නේද? එහෙම නොවුන නම් ඒ දෙවල් තව දුරටත් ඔයා ගාව තියෙන්න විදියක් නෑනෙ. (අහල ඇතිනේ ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා දාලා මං ආවා. ගාලු යන ගමන් ඉක්ක මාත් එක්කම ගියපු හින්ද මට ඉක්කාව තිබ්බ. එන ගමනෙදි ඉක්ක නැවතිල ඉඳිද්දි මම විතරක් ආපු හින්ද මට ඉක්කාව නෑ. ඉක්කා ගාල්ලෙ! හරිනේ.)

දැන් මම කියනව අපි නොදැනුවත්වම, අපිට පේන මේ මුළු ලෝකෙත් එක්කම කාලය කියන මානය ඇතුලෙ ඒකාකාර ශීඝ්‍රතාවයකින් ගමන් කරනව කියල. හරියට ඔයා ඔයාගෙ ටෙඩි බෙයාර් (වලස් විශේෂයකි!) එක්ක කාර් එකේ යනව වගේ. දෙන්නම දන්නෑ යනව කියල. හැබැයි දෙන්නම යනව එකම වේගෙන්. ඒ හින්දා දෙන්නා එක ලඟ.

දැන් මාතෘකාව! කාලය තරණය කරන එක. ඒ කියන්නෙ වෙන කාලෙකට යන එක. මගේ මනෝ රාමුවෙ හැටියට නම් කාලය කියන මානය ඇතුලෙ ගමන් කරන එක. ඔන්න හිතන්න ඔයාගෙ ටෙඩියට කාල තරණය කරන්න ඕන වුනාය කියල. ඔයා සෑහෙන මහන්සි වෙලා හඳනව නියම ගැජමැටික් එකක්. ඔයා හඳනව හයිබ්‍රිඩ් කාර් එකක්. ඒකට දිග පළල පැති වලට විතරක් නෙමේ කාලය කියන මානය පැත්තටත් ගමන් කරන්න පුළුවන්. ඔයා ටෙඩියව ඒකෙ නග්ගලා යවනව අවුරුදු 25ක් ඉස්සරහට. ගිහිල්ල පොඩ්ඩක් වටපිට බලලා එන්න කියල. ඉතිං ටෙඩියත් යනව.

මම කියන්නෙ මේ ටෙඩි බෙයාර් අවුරුදු විසි පහක් ඉස්සරහට ගිහිල්ල බලනකොට අපි ඉන්න ලෝකෙට, අපිට අවුරුදු විසි පහකට පස්සෙ වෙලා තියෙන දේවල් නෙමෙයි දකින්නෙ. එයාට බලන්න අපි වත් අපේ ලෝකෙ වත් එතන නෑ. සමහර විට එයාට බලන්න කිසිම දෙයක් එතන නැති වෙන්න පුළුවන්. නැත්තං සමහරවට තවත් විදියක අපූර්ව ලෝකයක් බලාගන්න එයාට පුළුවන් වෙයි. ඒ කියන්නෙ සමාන්තර විශ්වයක් වගේ දෙයක්. මම මෙහෙම කියන්නෙ මට හිතිච්ච විදියට මේ සිද්දවෙන්නේ මේ විදියට හින්දයි. අපියි, අපේ ටෙඩියයි කියන දෙන්නම හිටියෙ කාල මානය ඇතුලෙ එකම තැනක ඒකාකාර ශීඝ්‍රතාවයකින් යන ගමන්. පස්සෙ එයාව කාල මානයෙ ඉස්සරහට විසි කරපු එකයි අපි කරේ. දැන් අපිට අවුරුදු 25ක් ඉස්සරහින් තමයි මේ ටෙඩියා ඉන්නේ. අපි ඉන්නෙ වෙන තැනක. ටෙඩිය එතනම නැවතිලා හිටියොත් අපිට එයාව හමුවෙනවා තවත් අවුරුදු 25කින්.

ඉතින් මේ ටෙඩියා ඉන්නෙ තනියම කියන එක හරිනේ. ඇත්තටම ටෙඩී තනි වෙලාද? අපි එයා ලඟ නැති බව ඇත්ත. හැබැයි වෙන කෙනෙක් එයා ලඟ ඉන්න පුළුවන් නේද. මම මේ කියන්නෙ අපිට සමාන්තරව කාල අක්ෂයෙ ගමන් කරන්න ඉඩ තියෙන තවත් විශ්වයක් ගැන. ඒ විශ්වයත් අපි වගේම කාල අක්ශය දිගේ ගමන් කරනව වෙන්න පුළුවන්. අපි ටෙඩීව කාලයෙන් ඉස්සරහට යවන කොට හරියටම ඒ විශ්වයත් ටෙඩියා කාල අක්ෂයෙ ටෙඩියා ගියපු තැන පහුකරනව වෙන්න පුළුවන්.එතකොට ටෙඩියා ගිහින් වැටිල තියෙන්නෙ තවත් විශ්වයකට. මං මේ අමාරුවෙන් කියන්න හදන්නෙ අපි සහ අපේ ලෝකය කාලය කියන මානයෙ ඉස්සරහට යන වාහනයක් වගේ. අපි යන කාල මාවතේ අපිට ඉස්සරහින්, පස්සෙන් තවත් වාහන ගොඩක් තියෙන්න පුළුවන්. අපේ වාහනේ ඉඳන් ටෙඩියව විසි කලාම සමහරවිට එයා තවත් වාහනයක් ඇතුලට වැටෙන්නත් පුළුවන් නැත්තම් එයා පාරට වැටෙන්නත් පුළුවන්. පාරට වැටුනොත් එතන වෙන කවුරුවත්ම නැති හින්ද එයා තනි වෙනව. වාහනේකට වැටුනොත් එයාට අපි වගේ හරි අපිට සහමුලින්ම වෙනස් හරි අළුත්ම යාළුවො ටිකක් හමුවෙන්න පුළුවන්. ඒක තවත් ලෝකයක්!

කාලය කියන්නෙ මං හිතන විදියෙ විකාරයක් නම් කාලය තරණය කරලා අපිට අපේ අනාගතේ මොකද වෙන්නෙ කියල බලන්න වත් අතීතයට ගිහින් අපෙන් වෙච්ච වැරදි හදාගන්න වත් බෑ. ඒ කියන්නෙ අපේ ජීවිත මෙනූ එකේ රී ඉස්ටාර්ට් කියල බොත්තමක් නෑ. F3 ඔබල පෙරලිච්ච වාහනේ ආයෙම පාරට ගන්න බෑ. හැබැයි බොත්තමක් ඔබන එක වෙනුවට වැරදි තුලින් ඉගෙනගෙන දැන් ඉන්න තැනම ඉඳන් වඩාත් හොඳ ලෝකයක් ගොඩනගන්න උත්සහකරන්න, ඒක සාර්ථක කරගන්න අපිට පුළුවන් කියල මම විශ්වාස කරනව. ඒ වගේම ඕන කෙනෙකුට කාල තරණය කරල දැන් කියපු දේවල් වෙනුවට අළුත් යාළුවො හොයාගන්න නම් පුළුවන් වේවි. :-)



ප.ලි. මම බොරු ලියල විද්‍යාවටන්ට නිගරුවක් වුනා නම් අනේ සමාවෙන්න.
Sunday 25 September 2011
Posted by හුලං

Popular Post

Blogger templates

- Copyright © හුළඟ - Metrominimalist - Powered by Blogger - Designed by Johanes Djogan -